ජාපනයේදී තරමක් වෙනස් නැතහොත් නොගැලපේ යන්න හැගුනු කරුණු කිහිපයක් පිළබදව සලකා බලමු..
- ජපන් පිරිමි ළමුන්ගේ අත් බෑගයන්
- පාසල් යන ගැහැණු ළමුන්ගේ විලාසිතා
- පාසල් ළමුන්ගේ ජංගම දුරකථන භාවිතය
- ඉංග්‍රීසි භාෂාව හා මිශ්‍ර වූ ජපන් බස
- යමක් කෙලින් නොපැවසීම
ජපන් පිරිමි ළමුන්ගේ අත් බෑගයන්
ජපන් පිරිමි ළමුන් බොහෝ විට අත් බෑගයක් භාවිතා කරන අතර එය තරමක් කාන්තා අත් බෑගයක ස්වරූපයකින් යුක්ත වේ. එය හුදෙක් මා හට පමණක් හැගුන සිතිවිල්ලක්ද යන්න නොදනිමි. ඇත්තෙන්ම මා හට එය දිස්වූයේ කාන්තා අත් බෑගයක් රැගෙන යන පිරිමි ළමුන් ලෙසටය. ප්‍රථම වරට එය දුටු මට මද සිනහවක් පහල වූනද පසුව එය ඇත්තෙන්ම ජපන් පිරිමි ළමුන්ගේ විලාසිතාවක් ලෙස දැන ගැනීමට ලැබුණි.
පාසල් යන ගැහැණු ළමුන්ගේ විලාසිතා
ලංකාවේ මෙන්ම ජපානයේද පාසල් නිල ඇදුම් භාවිතය සිදු කරන අතර එය පාසලෙන් පාසලට වෙනස් කමක් දක්වයි. පාසල් නිල ඇදුම හා බැදුණු නීතී රීති ද ලංකාවේ මෙන්ම ජපානයේද පවතියි. එහෙත් බොහෝ ලෙස විවිධ විලාසිතා කොට පාසල් යන ගැහුණු ළමුන් දැක පුදුමයට පත් වූ වාර ඇත්තෙන්ම ඇත. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් ජපන් ගැහැණු ළමුන්ගේ නිල ඇදුමේ සාය දණහිස දක්වා දික්විය යුතු වුවත් බොහෝ විට මා දැක ඇත්තේ බොහෝ ගැහැණු ළමුන් දණ හිසෙන් බොහෝ ඉහලට පෙනෙන සේ ඇද සිටීමයි.
එපණක් නොව නිය පොතු වර්ණ ගන්වා, මුහුණේ විවිද ආලේපන ගල්වා වූවද පාසල් යනු මා දැක ඇත. ඇත්තෙන්ම පාසල් යන ගැහැණු ළමුන් හුරුබුහුටිය. එහෙත් මෙය සාමාන්‍ය ඇදුම් සදහා කිසිසේත්ම බල නොපෑවත් පාසල් නිල ඇදුමට උචිතනොවන බව මගේ අදහසයි. ඇතෙන්ම ලංකාවේ පාසලක් තුල මෙවැනි දේ සිදු වීම කලාතුරක් බැවින් මෙය මා හට අදහා ගත නොහැකිවිය. ඇතැම් විට ජපන් පාසල් වලද මේ සදහා යම් නීති මාලාවක් ඇතිද යන්න මා හරි හැටි නොදනිමි.
පාසල් යන ළමුන්ගේ ජංගම දුරකථන භාවිතය
ජපානෙයේ පාසල් ළමුන් ජංගම දුරකථන බොහෝ ලෙස පරිහරණය කරන බව මග තොට ගමන් කිරීමේදී දක්නට ලැබුණි. ඇත්තෙන්ම ලංකාවේ පාසල් ළමුන්හට පාසල් වෙලාවේදී ජංගම දුරකථන භාවිතය තහනම් වන අතරම පාසලට රැගෙන ඒමද තහනම්ය.එය හේතුවෙන් මෙය මා හට විශේෂයක් ලෙස පෙනුනා විය හැකිය.
ඉංග්‍රීසි භාෂාව හා මිශ්‍ර වූ ජපන් බස
ජපන් භාෂාවේ ඇතැම් වචන ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත් ඒවා වන අතර එම වචන ඔවුන්ගේ භාෂාවට සරිලන ආකාරයට වෙනස් කොට ඇත. උදාහරණ ලෙස cake-keki, skirt- sukato, bus-basu, necklace-nekulasu, chocolate-chocoreto, necktie-nekutai ආදී වූ විවිද වචන මේ ලෙස භාවිතා කරයි. ඒ ආකාරයට ජපන් ජාතිකයන් විසින්ම සකසන ලද ඇතැම් වචන ඉංග්‍රීසි භාෂාවෙහි අභාෂය ගත්තද ඇත්තෙන්ම ඒවා ඉංග්‍රීසි ජතිකයන්ටද නොවැටහේ. උදාහරණයක් ලෙස ජපන් ජාතිකයන් adoresu කියූ විට අපට හැගෙන්නේ අප පදිංචි ලිපිනය පිළිබද විමසන බවකි. එහෙත් ඇත්තෙන්ම එහිදී සිදු වන්නේ mail address එක ඉල්ලීමයි. මෙවැනි අවස්ථා කිහිපයකටම මුහුණ දී අපහසුතාවයට ලක්වූ අවස්ථා බොහෝ ඇත.
යමක් කෙලින් නොපැවසීම
ජපන් ජාතිකයින් බොහෝ විට අනෙකාගේ සිත රිදවීමට එතරම් කැමැත්තක් නොදක්කවයි. උදාහරණයක් ලෙස විනෝදවිමට පැමිණෙන ලෙස කතා කරහොත් ඒවිට යම් වැඩක් යෙදී ඇත්තනම් ඔවුන් එය කෙලින් පැවසීමට අකමැත්තක් දක්වයි. එවිට ඔවුන් භාවිත කරන්නේ “හෙට පොඩ්ඩක්… ටිකක්.. ” මෙහිදී විදේශිකයන් හට තේරුම් ගැනීමට අපහසු දෙය නම් ඔවුන් පැමිණිය හැකි බව පවසනවාද නැතිනම් නොපැමිණෙන බව පවසනවාද යන්නයි. ඇත්තෙන්ම එහිදී සිදුවන්නේ නොපැමිණෙන බව පැවසීමයි.ජපන් ජාතිකයන් එසේ කිරීමට හේතුව ලෙස දැක්විය හැක්කේ ඔවුන් අනෙකාගේ සිත රිදවීමට දක්වන අකමැත්ත බවකිව යුතුය.