ජපන් අලුත් අවුරුදු උත්සවයේ විශේෂාංග!

අලුත් අවුරුද්ද (shogatsu or oshogatsu) යනු ජපානයේ වඩාත්ම වැදගත් නිවාඩු දිනයයි. ජනවාරි 1 සිට ජනවාරි 3 දක්වා බොහෝ ව්‍යාපාර වසා දමා ඇති අතර පවුලේ සාමාජිකයන් සාමාන්‍යයෙන් එකට එක්රැස් කර ගත හැක අවස්ථාවක්ද වනු ඇත.

පෙර සුදානම

සෑම වසරක් දෙසම සාම්ප්‍රදායික ලෙස වෙනස් ආකාරයකින් බැලීමට ජපන් ජාතිකයන් හුරු වී සිටියි. සෑම නව වසරක්ම නව ආරම්භයක් ලබා දෙයි.එබැවින්, වසර අවසානය වන විට සියලු රාජකාරි අවසන් කිරීමට නියමිත අතර, වසරක් පුරා ඇති වූ අමාරුකම් හා කරදර වලින් ඉවත්ව යාම සඳහා බෝනෙන්කයි(bonenkai) (“වසර අවසන් කිරීමේ”) සාදය සෑම අයතනයකම පවත්වනු ලබයි. මෙහිදී ම දුටු අත්දැකීමක් සිහිපත් වේ. එනම් බොනෙන්කයි සාදයේදී උසස් නිලධාරියාගේ සිට සෑම කෙනෙක්ම එක සේ සතුටු වීමද තම තනතුරු අමතක කර මිත්‍රශිලිව විනෝදවීමද මා දුටු විශේෂ ලක්ෂණයකි. එම අවස්ථාවේදී සියලු දෙනා “යෝයි ඔතොෂි වො” (yoi othoshi wo) අලුත් අවුරුද්ද සුබ වෙන්න කියා සුබ පතයි.

ලංකාවේ මෙන්ම අලුත් අවුරුද්දට පෙර නිවාස හා වටපිටාව පිරිසිදු කිරීම දක්නට ලැබේ. නිවාස සහ ඇතුල් වීමේ දොරටු පයින්, උණ පඳුරු හා ප්ලාම් ගස්වලින් සාදා ඇති ආභරණවලින් සරසනු ලැබේ.

අලුත් අවුරුද්දට පෙර දිනයේදී, දීර්ඝායුෂ සංකේතවත් කිරීම සඳහා ටොෂිකෝෂි සොබා (සොබා නූඩ්ල්ස්) පිළිගන්වනු ලබයි. මෑතදී දක්නට ලැබෙන චාරිත්‍රයක් ලෙස “Kohaku Uta Gassen” නමින් වූ සංගීත සංදර්ශන නව වසර උදාවන තෙක් බල සිටින කාලයේ නරඹන්නට ජපන් ජනතාව හුරු වී ඇත. මෙය ජනප්‍රිය ජේ-පොප් සහ එන්කා ගායකයින්ගේ දර්ශනීය ඉදිරිපත් කිරීම්වලින් සමන්විත ඉතා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකි. බොහෝ ජපන් ජාතිකයන් දෙසැම්බර් 31 දින අවුරුද්ද උදාවන විට සිද්ධස්ථානයක් හෝ විහාරස්ථානයකට ගොස් එහි වූ ආගමික වතාවන් වල නියැලෙයි.

අවුරුදු දින

ජනවාරි 1 වන දින ඉතා සුබ දිනයක් වන අතර, නව වසරේ පළමු හිරු නැඟීම (හට්සු-හිනෝඩි) නැරඹීම මගින් වසර ආරම්භ කරයි. එමගින් වසර පුරාම සුබ වනබව ජපනුන්ගේ සප්‍රදායික මතයයි. එමනිසා සෑම දෙයක්ම පිරිසිදු කළ යුතු අතර, සියලු වැඩ රාජකාරි අත්හැර ඔසෙචි රියෝරි(අවුරුදු කෑම) කාබී සැහැල්ලුවෙන් කාලය ගත කරයි. මානසික පීඩනයෙන් හා කෝපයෙන් මිදී ප්‍රිතිමත්ව කාලය ගත කරයි.

ජපානය තුළ අලුත් අවුරුද්දේ භුක්ති විඳින සම්ප්‍රදායික ආහාර ඔසේචි රියෝරි (御 節 料理). විශේෂිත බෙන්තො ජුබාකෝ පෙට්ටිවල එකට ඇසුරුම් කරන ලද විවිධාකාර ආහාර වර්ග රාශියක් දක්නට ලැබේ. මෙම සම්ප්‍රදායික ආහාරවල සෑම ආහාරයක්ම අලුත් අවුරුද්ද පිළිගැනීමේදී විශේෂ අර්ථයක් ඇත. ඔසෙචි රියෝරි අතරින් විශේෂයෙන්ම ඔතොසො (පැණිරස සහල් වයින්) සහ ඕගනී (මොචි සමඟ සුප්) ඇතුළත් වේ.

අලූත් අවුරුද්දේදී සම්ප්‍රදායිකව සිදු කරන අවුරුදු ක්‍රීඩා කිහිපයක්ද තිබේ. කෙසේවෙතත්, එහි වූ ජනප්‍රියතාව මෑත කාලයේදී අඩු වී ඇත. හෙනෙසුකි (ජපන් බැඩ්මින්ටන්), තකොඑගේ (සරුංගල් පියාසර කිරීම) සහ කරුතා (කාඞ් ක්‍රීඩාව) ඒවායින් සමහරකි.

ජපානයේ අවුරුද්දට සිදු කරන තවත් ජනප්‍රිය චාරිත්‍රයක් ලෙස අලුත් අවුරුදු සුබ පැතුම්පත් යැවීම හැදින්විය හැකිය. ඒ සියලු සුබ පැතුම්පත් ජනවාරි පළමුවන දින නිකුත් කිරීමට නියමිත ඒවාය. එක් පුද්ගලයෙකු මිතුරන්, නෑදෑයින් සහ තම සමීපතයන් වෙත සුබ පැතුම්පත් යැවීම සිදු කරයි. මෙහිදී දක්නට ලැබෙන විශේෂත්වයක් නම් ජපානයේ සෑම වසරකටම අවේනික වූ සත්ත්වයෙක් සිටියි. වසර 12කට සීමිත වූ එය වසර 12 අවසන් වූ පසු නැවත මුල සිට ආරම්භ වේ.(මීයා, එළදෙන, කොටියා, හාවා, මකරා, නයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ ඌරා). එහිදී සුබ පැතුම්පත් මුද්‍රණය කරන්නේ එම වසරට අදාල වූ තත්ත්වයා ඇතුළත්වයි.